Tuesday, April 21, 2009

දුටුගැමුණු

දුටුගැමුණු රජතුමාට බිසෝවරු පන්සියයක් විය. මින් එක බිසවක් හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ අමුම අමු ගොඩේ ගැමියෙකු වන යක්දෙස්සෙක් හෙවත් යකදුරෙක් හෙවත් මන්ත්‍රාචාර්යවරයෙක්ගේ බාලම දියණිය වූ උත්පලවණ්නා කුමාරිකාවයි. මෙම කුමරිය ගැන කුඩා කල පටන්ම බලාපොරොත්තු තබා‍ගෙන සිටි සෙල්වා නම් දෙමළ සම්භවයක් සහිත තරුණයෙක් දුටුගැමුණු රජතුමා විසින් උත්පලවණ්ණා කුමරිය අංතඃපුරයට රැගෙන යෑමෙන් පසු ඇය කෙරෙහි බැඳි දැඩි සෙනෙහසින් හා උපන් මෝඩකමින් සැහැසිව, වල් වැදී, මැර හොර දෙටුවෙක් විය. මෙම හොරදෙටුවා දැඩි කෝපයෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කළේය.මෙම මැරයා පිළිබඳව දුටුගැමුණු රජතුමාට සැලවිය. එතුමා සිය දශ මහා යෝධයින්ගෙන් පළමුවැනියා වන, කුඩා කළ මිරිස් ගලක් බඩේ බැඳගෙන කුඹුරට ඇදගෙන ගිය නන්දිමිත්‍රයෝ කැඳවා, මේ සෙල්වා නම් සාහසිකයා මෙල්ල කර වාසලට කුදලාගෙන එන ලෙස අණවා පිටත් කර යැවීය.දෛවයේ සරදමකට මෙන් දුටුගැමුණු රජතුමා එදින රාත්‍රිය තමා සමග සයනය කිරීමට තෝරාගත්තී උත්පලවණ්ණා කුමාරිකාවයි. සම්භෝගය සඳහා යහනට වන් දුටුගැමුණු මහ රජතුමා, සෑම රජ කෙනෙකු මෙන්ම සිය රාජකීය රහස් බිසවට හෙළි කරන්නට විය. ඒ අතර හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත් හොර දෙටුවෙක් මෙල්ල කිරීමට නන්දිමිත්‍ර යැවූ පුවතද ඇතුළත් විය.මේ සෙල්වා අන් කෙනෙකු නොව එකල තමාට පෙම් බැඳි, තමාද ලාවට පෙම් බැඳි, අද තමාට බැඳි ප්‍රේමය නිසාම භයාණක මෘගයෙකු මෙන් හැසිරෙන්නේ පිය පාර්ශවයෙන් සිය නැන්දණියගේ පුත්‍රයෙකු හෙවත් තමාගේ මස්සිනා වන සෙල්වා බව ඇය ඉඳුරාම පසක් කර ගත්තාය.අංතඃපුරයේ රකවලා වන නපුංසකයාට අල්ලසක් දුන් උත්පලවණ්ණා කුමරිය එක්තරා වේශයකින් මාලිගාවෙන් නික්මී දුම්මැස්ස ග්‍රාමයට ආවාය. බියපත් ගැමියන්ගෙන් ලත් තොරතුරු ඔස්සේ සෙල්වා සොයා ගිය ඇය, මහවාසලින් නන්දිමිත්‍ර සෙනෙවි ඔහු ජීවග්‍රහයෙන් ගැනීමට පැමිණෙන බව ඔහුට සැල කළාය.නන්දිමිත්‍රගේ නම ඇසූ පමණින් සෙල්වාට වමනය හා පාචනය වැළඳුනි. මහ ගිරි දුර්ගය හුදකලාව පැමිණි රූබර උත්පලවණ්ණා දැක සිඹ සනසා ආලිංගනයෙහි යෙදීමට වත් සිහිය එළවාගත නොහැකි වූ සෙල්වාට දහදිය හා සුළුදිය පිටවන්නට විය. ඔහුගේ අනුකම්පාව උපදවන විලාශය දුටු උත්පලවණ්නා කුමරිය ඔහුගේ දිවි රැක ගැනුමට එක්තරා උපායක් යෝජනා කළාය. උපාය ක්‍රියාත්මක විය යුතු ආකාරය රහසිගතව සෙල්වාට ඉගැන්වූ ඇය මෙසේද කීවාය.නන්දිමිත්‍ර ශ්‍රේෂ්ඨ සටන් ශිල්පියෙක්. ඔහු සටනකින් තොරව කිසිවෙකුත් නොමරයි. ඔබ මුණ ගැසුනු ඔහු තා සටනට කැඳවනු ඇත. එකළ ඔබ මා කියාදුන් උපාය අනුව, නපුංසකයෙකුගේ ඉරියව් විදහා පාමින්, තමා නපුංසකයෙකු බව නොබියව කියව. එපමණක් නොව, හැකිනම් ඔහුගේ උත්තුංග ශරීරය තා ඇළුම් කරන බවක්ද දක්වා ඇඟෑළුම්කම් පා පෙන්වවෟ යැයි ප්‍රකාශ කළාය. අනතුරුව උත්පලවණ්ණා කුමරිය මහා වනාන්තරයට හුදකලාව පැමිණ, චණ්ඩ යැයි සම්මත මිනිසෙකුටත් අභිමුවව, හිටියාටත් වඩා නිරුපද්‍රිතව ආපසු රජ මාලිගයට සැපත් වූවාය. නන්දිමිත්‍රයෝද හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත හොර දෙටුවෙක් මෙල්ල කිරීමට තමා පැමිණි බව දක්වා දැන් ඒ හොරු කොද වේ දැයි මිනිසුන්ගෙන් විමසූහ.මිනිසුන් ද බියෙන් චකිතයෙන් යුක්තව ම පෙන්වූහ. නන්දිමිත්‍රයෝ ඒ සලකුණෙන් හොරා සිටින ඉසව්වට පැමිණියේය. නන්දිමිත්‍රගේ පැමිණීම අපේක්ෂාවෙන් බියෙන් විපරීතව බලා සිටි සෙල්වා ඔහු දකිත්ම වෙව්ලන්නට විය. ඔහු වෙව්ලන විට ඔහු පිටදී සිටි ගල් පතුර සෙලවිණ. ගල් පතුර සෙලවෙන විට ඊට යාබද කුඩා ගල් කුළ චලනය විය. ගල් කුළ චලනය වන විට ගල් ගුහාව සෑදී තිබුණු ගල් පර්වතය පැද්දින. ගල් පර්වතය පැද්දෙන විට කන්දේ වූ ලොකු කුඩා ගල් වහන්සේලා හා වෘක්ෂ වහන්සේලා නටන්නට වූහ.ආශ්චර්යයක් නන්දිමිත්‍ර යෝධයා ඉදිරිපිට දිස්වූයේ බියෙන් වෙව්ලන කන්දකි. සතුරාගේ තර්ජනයට බියෙන් හැළි වලං පොදි බැඳගෙන, කොට්ට මෙට්ට අකුළාගෙන ඇමරිකාවට පලා ගිය මෙකල පොරක් වී සිටින සෙන්පතියෙකු මෙන් නොව, දහසක් සටන් බිම්වල, සුවහසක් සතුරන්ට මුහුණට මුහුණ ලා සටන් කර පළපුරුදු සෙන්පතියෙකු වන නන්දිමිත්‍රයෝ, සතුරාගේ චලනයෙන්ම ඔහුට වමනය හා පාචනය වැළඳී දහදි හා සුළුදිය පිටවෙන බව වටහා ගත්තේය.එම්මා බියසුල්ල, නොවෙව්ලව. මම තට අභය දෙමි. තා යටත් වෙනවාද සටන් කරනවාද..? නන්දිමිත්‍ර විමසුවේය.සෙල්වා සැඟවී සිටි තැනින් එළියට ආවා නොව එවුනේය. ඒ වන විටත් බියපත් මළ මුත්‍ර වලින් නැහැවී සිටි ඔහුට එරෙහිව සටන් ප්‍රකාශ කරන්නේ නම් සියල්ලටම පෙර ඔහු නාන තෙක් බලා සිටිය යුතු බව නන්දිමිත්‍ර සෙනෙවිට වැටහින.සමාවුව මැන ස්වාමීණි. මම අහිංසක නපුංසකයෙක්මි. මා මැරයෙකු නොවෙමි. මට සමාව හා තනතුරක් දෙන්නේ නම් ඔබ දෙපා නොව, ඔබගේ බිරිඳගේ දෙපා වුව නැමදීම මට අපුල කාර්යයක් නොවේ සෙල්වා කීවේය.නන්දිමිත්‍ර තෙම ඔහුට නා පිරිසිදු වීමට අණවා ඔහු ජීවාග්‍රහයෙන් ගෙන මහව‍ාසලට ගියේය. මහරජතුමා ඔහු පිළිබඳව නඩු විමසීය. උත්පලවණ්ණා කුමරිය උපායකින් මහ රජතුමාගේ සිත ඔහු කෙරෙහි අනුකම්පාව උපදින අයුරින් කටයුතු කළ අතර, සිය සේවා වනිතා සංගමයේ බලපෑමෙන් ඔහු වැනි නපුංසකයන්ට හිමි අංතඃපුරයේ මුරකරු තනතුරකට සෙල්වා පත් කළ බව පාරමිතා පෙරහැරේ වැඩි බයිලා චක්‍රවර්තී හිමිනමක් සෙල්ලිපියක තිබී සොයාගත් බව පොත පතේ සඳහන්ය.ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් සෙල්වා තමාට ජන්මයෙන් උරුම වූ කන්න දුන් අත සපා කන්නාක් මෙන් අවසර ලද සෑම රැයකම උත්පලවණ්ණා කුමරිය සමග ආංලිංගනයෙහි යෙදුනේය.එම රහස් සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස උත්පලවණ්ණා කුමරිය ගැබ් ගත් අතර, දසකඩ මස ඇවෑමෙන් පින් මඳ පුතෙකු බිහි කළාය. කෙසේ වෙතත්, මෙම පින්මඳ කුමරා දුටු ගැමුණු රජතුමාගේ පුත්‍රයෙකු ලෙස උප්පැන්නය ලියාපදිංචි කිරීමට ඇය සමත් වූ අතර, රජ වාසල සැප විදිමින් රජ කුමරෙකු ලෙසම හැදී වැඩුනේය.මෙම කුමරා වැඩි වියට එළඹි කල සාලිය කුමරාගේ රහස් පණිවුඩ අශෝකමාලාවට ගෙන යෑම නිසා, සාලිය කුමරා සමගම රජ කුළයෙන් නෙරපුවේය. අනතුරුව ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහිදී මහ වාසලේ අනුහස් පෙන්වා උපායෙන්, චාටුවෙන් සහ වංචාවෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත සූරාකමින් ජීවත් වූ බව තවත් සෙල් ලිපියක සඳහන්ය. මෙම පරපුර, පරපුරෙන් පරපුර නොනැසී පැවැතෙමින් අදත් පවතින බව බයිලා චක්‍රවර්තී හිමිපානෝ දෙසති.විසිවන සියවසේ දේශපාලනට පිවිසි එක්තරා භූමිපුත්‍රයෙක් සිය පරම්පරාවේ මෙම ඉතිහාස කථාව සොයා ගත්තේය. එපමණක් නොව, ඒ විශ්මිත සොයා ගැනීමෙන් මුසපත් වූ, ආණ්ඩුවේ එකෙක් ලෙස පෙනී සිටින පුංචි එකාටත් රැවටෙන උපකුළපතිවරුන් පාලනය කරන එක්තරා විශ්ව විද්‍යාලයක් ඔහුට ආචාර්ය පදවියක් පිරිනැමීය.සිය මී මුත්තාගේ නම වන සෙල්වා යන දෙමළ සම්භවයක් සහිත නම සිල්වා ලෙස මොඩ් කර තබා ගත් ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයෙන් කොළඹට පැමිණ, එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, මාධ්‍යවේදීන්ට පහරදෙමින් තරුණියන් දූෂණය කරමින් එසේ දූෂණය කිරීමට සිය පුත්‍රයාද පොළඹවමින් ගංජා, කසිප්පු, මත්කුඩු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින් එසේ උපයා ගන්නා මුදල් තමාද දූ කෙළියට වියදම් කරමින් තම පුත්‍රයාද ඊට පොඹවමින් මැද කොළඹින් ඡන්දය ඉල්ලා හොම්බ බිම ඇනගෙන එතකුදු වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස්, මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඉදිරියේ විලි ලැජ්ජා නැති කථා කියමින්, 109 ක් වූ අමාත්‍යය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුව කාලය ගත කරන්නේ ලූ ඔහු සිතා සිටින්නේ තමා දුටු ගැමුණු පරම්පරාවේ සුජාත මී මුණුපුරෙක් කියාය. දුටු ගැමුණු රජතුමාගේ අංතඃපුර බිසවකට අවජාතක පුතෙක් ඉපදුනු බව ඔහු දන්නේ නැත. ඔහුට චරිත සහතික දෙන බයිලා චක්‍රවර්තී හිමියෝද ඒ බව නොදන්නා සේක.

No comments: