Thursday, June 12, 2008

නිදහස

නිදහස
මගේ දේශය, මගේ ජාතිය, මගේ ආගම,
මට ලබාදුන් ත්‍යාගයයි.
චන්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්
(නන්දා මාලනී මහත්මීයගේ ගීතයකිනි)
නිදහස විවිධාකාරය; ආර්ථික නිදහස, දේශපාලන නිදහස, ආදී වශයෙනි. හතලිස් අටේ අප ලැබුයේ දේශපාලන නිදහස පමණක් බවත්, ආර්ථික වහල්භාවය තුල දිනෙන් දින අප සිරවෙමන් සිටින බවත් ප්‍රකට සත්‍යයකි. නමුත් නන්දා මාලනී මහත්මියගේ ඉහත ගීතයෙහි අවධාරනය කරන චින්තනයේ නිදහස ඉහත සියලු නිදහස අභිබවා සිටී. ආක්‍රමණික‍යා ප්‍රථමයෙන් දේශපාලන නිදහස උදුරාගනී, දෙවෙනුව ආර්ථික නිදහසත් ඉක්බිති අන් සියලු ආකාරයේ නිදහසත් උදුරාගනී. නමුත් චින්තන නිදහස උදුරාගැනීම එතරම් ලෙහෙසි නැත. විශේෂයෙන් ම ඉතා සවිමත් සංස්කෘතික අනන්‍යතාවයක් හා අතිශයින් සවිමත් චින්තනයකට උරුමකම් කියන සිංහලයාගේ චින්තන නිදහස උදුරාගැනීම අවශ්‍යනම් ඒ සඳහා ඉතා අධික මිලක් ගෙවීමට සිදුවනු නියතය. චින්තන නිදහසෙහි ඇති ශක්තිය අද කවරදාටත් වඩා බටහිරයන් තේරුම් ගනිම්න් සිටිති. සිල්ලර ක්‍රම වලින් අපගේ චින්තන නිදහස උදුරාගැනීමට නොහැකි වූ තැන ඒ සඳහා ඉහත සඳහන් අයුරින් අධික මිලක් ගෙවීමට අද ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව සූදානම් වනු දැකිය හැකිය. අද අපට සාමතෙල් බෙදන ජපනා ඉතා ඉහල මිලකට සියලු නිදහස නැතිකරගත් ජාතියකි. ලක්ෂ ගනනක ජනතාවගේ රුධිරය තුලින් ජපානය යුධමය, දේශපාලනමය, ආර්ථිකමය හා චින්තනමය වහල්භාවය තුල බැඳගැනීමට බටහිරට හැකිවිය. ජපනාගේ නිදහසට එවැනි මිලක් නියමවූයේ ජපන් ජාතිකයන් ද ඉතා ඉහල සංස්කෘතියකට හා චින්තනයකට උරුමකම් කී නිසාවෙනි. අප මෙන් උසස් චින්තනයක් නොමැති වූ අප්‍රිකානු, ආසියානු, හා ඇමෙරිකානු ජාතීන් අධිරාජ්‍යවාදීන් හමුයවේ ඉතා සිල්ලර ගනුදෙනු තුලින් තම චින්තනමය නිදහස අහිමිකරගෙන ඇත. අද පවා ජපානය තුල කඳවුරු බැඳ සිටින ඇමෙරිකානු හමුදා නිසා ජපනා අහවල් ඉටිගෙඩියක් බුක්ති විඳිනා බැවින් ඔවුන් මෙරටට ද අන්තර්ජාතික හමුදාවන් ගොඩබැස්සවීමට කතා කරති. එනිසා කොන්ද කැඩී ඇති ජපන් ජාතිය තුලින් අපට ගතහැකි පාඩම නම් අපේ ජාතියේ කොන්ද නොකඩා තබාගතහැක්කේ කෙසේද යන්න මිස සුපිරි ආර්ථික දියුණුවක් ලඟාකරගන්නේ කෙසේද යන්න නොවේ. උතුරේ යුද්ධයේදී අනතුරට ලක්වන සාමාන්‍ය ජනතාව ගැන කිඹුල් කඳුල් හෙලන ජපනාට ‍ඇමෙරිකාව හිරෝෂීමා හා නාගසාකි හිදී සිතාමතාම පරමාණු බෝම්බ හෙලූයේ සාමාන්‍ය අහිංසක ජනතාව මතට බව අමතක වී ඇත. එසේ අමතක වීමට හේතුව දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිරයන් විසින් ජපන් ජාතියේ කොන්ද ප්ලාස්ටික් වලින් ප්‍රතිස්ථාපනය කිරීමයි.
චින්තනය යන වචනය කරලියට පැමිණියේ ජාතික චින්තන මතවාදයේ නැගීමත් සමඟිනි. මහින්ද චින්තනය මතින් එය ජනප්‍රිය දේශපාලන ප්‍රවාහයට ඇද දමනු ලැබිණි. එනිසා අද සමාජය චින්තනය නමින් අනන්‍යවූ දෙයක් තමන්ට ඇතිබවත්, එහි වටිනාකමත් ක්‍රමක්‍රමයෙන් තේරුම්ගනිමින් සිටිති. තමන්ට යමක් තිබෙත්දීත් එන නොදන්නේ නම් අන්‍යයන් එය සොරාගෙනයනු විනා මුදලට ගැනීමට වෙහෙස නොවේ. නමුත් තමන්සතු දෙයෙහි අගය දන්නේ නම් අන්‍යයන් එයට මිලක් නියම කරනු ඇත. චින්තනයට මිලක් නියමකල හැක්කේ ඊනියා සංවර්‍ධන ආධාර වලින්වත්, සම්බාධක වලින්වත් ‍නොව අවියෙන් බව බටහිරයන් හොඳින් දන්නා කරුණකි. ලෝකය පුරා නිවහල් චින්තනයකට උරුමකම් කියන ජාතීන්ගේ චින්තනය කනපිටහැරවීමට බටහිරයන් සැලසුම් සහගතව ක්‍රියාකිරීම ඇරඹුවේ පසුගිය සියවසේ අග භාගයේදීය. ලෝකය පුරා තමන්ගේ කොන්ත්‍රාත්කාර පාලක පන්තීන් වලට එම කොන්ත්‍රාත්තුව පැවරූ බටහිරයන් අද වෙනවිට ජයග්‍රහණ මෙන්ම පරාජයන් බොහොමයක්ද ලබා ඇත. බටහිරයන්ට තේරුම්ගතහැකි චින්තනයන් සහිත සියලු ප්‍රතිපක්ෂ බලවේග තමන්ගේ බලයට නතුකරගැනීමට ඔවුනට හැකිවිය. නමුත් ඔවුන්ට තේරුම්ගැනීමට නොහැකි වූ චින්තනයන් හමුවේ ඔවුන් ලැබුයේ පරාජයයි. ජේ. ආර්. ජයවර්‍ධන මහතාගේ ඊනියා ධර්මිෂ්ඨ සමාජය තුලින් ලංකාවේ සංස්කෘතිය විවිධාකාර වෙනස්කම්වලට භාජනය කලත් චින්තනයට අතවත් තැබීමට ඔවුන්ට නොහැකි විය. එයට හේතුව චින්තනය යනු අඳින්නේ, කන්නේ, බොන්නේ, අහන්නේ, බලන්නේ, මොනවාද යනු නොවන බැවිනි. මේ පරාජය හමුවේ බටහිරයන්ගේ ඊළඟ උපායමාර්‍ගයන් ඉතා විශාල වශයෙන් වෙනස් විය හැකි අතර ජය පරාජය තීරණය කරනු ලබන්නේ එම උපායයන් කෙතරම් ඉක්මනින් අප වටහාගන්නේ ද යන්න මතයි.
බටහිර ආර්ථික සිද්ධාන්ත තුලින් අපට කිසිදා ආර්ථික නිදහසක්වත් ආර්ථික සංවර්‍ධනයක්වත් ළඟාකරගත නොහැක. එනිසා ආර්ථික සංවර්‍ධනය සඳහා කලයුතු පලමු කාර්‍යය නම් බටහිර ආර්ථික සිද්ධාන්ත මතවාදී වශයෙන් ප්‍රතික්ශේප කිරීමයි. (එසේ කලහොත් අප අනුගමනය කරන්නේ කුමන ආර්ථික සිද්ධාන්තදැයි අහවල් එක පවා සිද්ධාන්තවලට අනුව කරනා බුග්දිමතුන් ප්‍රශ්ණ කල හැකිය. එනිසා එබඳු ප්‍රශ්ණ වලට පිලිතුරු දීමට තරම් බුග්දියක් මා තුල නැති බව සඳහන් කල යුතුය. නමුත් බටහිර ආර්ථික විද්‍යාව ගැන උසස් පෙල මට්ටමේ දැනුමක් පමණක් ඇතිව, එහි කායීය ලෝකයේ ඇති සකලවිධ සම්පත් දියුණු රටවලට පොම්පකිරීම බව මා හට තේරුම්ගත හැකිවිය.) චින්තන නිදහස තවදුරටත් තබාගැනීමට අප අනුගමනය කලයුත්තේ ප්‍රථමයෙන් බටහිර චින්තනය ප්‍රතික්ෂේප කිරීමයි. අප බටහිර දේශපාලනයට යටවූවත්, බටහිර ආර්ථිකයේ සිරකායන් බවට පත්වූවත්, බටහිර සංස්කෘතිය යම්තාක්දුර‍ට කරපින්නාගත්තත්, බටහිර චින්තනය කිසිදා වැළඳගත්තේ නැත. එසේනම් බටහිර චින්තනය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? එය කලහැක්කේ බටහිර චින්තනය මත පදනම් වූ මතවාද ඉවතලීම හා ඒවාට මුහුනදිය හැකි ශක්තිමත් මතවාදයන් බිහිකරගැනීම තුලිනි.
උදාහරණයක් ලෙස ඊනියා මානව හිමිකම් සංකල්පය ගනිමු. බටහිර මානව හිමිකම් සංකල්පය වලංගුවන්නේ ඊලාම් යුද්ධයෙන් මියයන සාමාන්‍ය වැසියන් ස්වල්ප දෙනෙකුට විනා ඉරාක යුද්ධයෙන් මියගිය හා මියයමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයා‍ට නොවේ. ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර ඇමෙරිකාව පැවසුයේ සදාම් හුසේන් මහතාගේ දැඩි පාලනය හමුවේ දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන බවයි. නමුත් ඇමෙරිකානු පාලනය හමුවේ කෙනෙකුගේ මානව හිම්කම් උල්ලංඝනය වීමට පෙර ඔහු මරාදමන නිසා මානව හිම්කම් උල්ලංඝනය නොවේ. ලංකාවේ මානව හිමිකම් සඳහා වෙනමම අමාත්‍යංශයක් ඇතිකිරීම එක් අතකින් මානව හිම්කම් කියන සංකල්පය පිලිගැනීමක් මෙන්ම රටතුල මානව හිම්කම් උල්ලංඝනය වන බව ද පිලිගැනීමකි (ඇමෙරිකාවේ මානව හිමිකම් සඳහා වෙනමම ඇමතියෙක් නැත). නමුත් එය තවත් අතකින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජයේ කැපවීමක් ඇත යන්න ද පෙන්වා දෙයි. නමුත් තවත් පියවරක් ඉදිරියට තබමින් අපට ගැලපෙන අයුරින් හා වාසිදායක අයුරින් මානව හිමිකම් යන සංකල්පය යලි අර්ථදැක්වීමත් මානව හිමිකම් සම්බන්ධ කාරනා වලදී එම අර්ථදැක්වීම තුල සිටගෙන ගනුදෙනු කිරීමත් තුල වඩාත් සවිමත් ව බාහිර බලපෑම් වලට ඔරොත්තු දිය හැකිය. මේ අයුරින් සියලු ක්ෂේත්‍රයන් වල බුද්ධිමතුන්ගේ (බුග්ධිමතුන් නොවේ) කාර්‍යභාරය විය යුත්තේ තම ක්ෂේත්‍රය තුල ජාතියට වාසිදායක ආකාරයේ නව සංකල්පයන් බිහිකිරීමත් එවා මත පිහිටා ක්‍රියාත්මකවීමත් ය.
චින්තන නිදහස තේරුම්ගනිමු, එය රැකගනිමු.
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි.
චන්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අබියස
බියෙන් ඇකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මගේ දේශය ...
මිල මුදල් ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටුවනු මිස
මගේ දේශය ...

No comments: