Thursday, June 12, 2008

අධිරාජ්‍ය ත්‍රස්තවාදයට සාක්ෂි සැපයීම


අධිරාජ්‍ය ත්‍රස්තවාදයට සාක්ෂි සැපයීම
ත්‍රස්තවාදයෙන් දශක කිහිපයක් බැටකෑ අපි අද තීරණාත්මකව ත්‍රස්තවාදය පරාජය කිරීම අබියස සිටිමු. නමුත් ඊට වඩා සැම අතින්ම දරුණු හා බලවත් අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් වීමේ අවදානකටද ලක්ව සිටිමු. රටක ජනතාව සූරාකෑම සඳහාත්, තම ඒකාධිපති බලය පවත්වාගෙන යාම සඳහාත් පාලකයන් ජනතාව මත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ යම්සේද, එසේම අන්රටවල් සූරාකෑමත් තම ඒකාධිකාරය පවත්වාගෙනයාමත් අරමුණු කරගෙන අධිරාජ්‍ය ත්‍රස්තවාදය එයට වඩා විශාල පරිමාණයෙන් දුප්පත් රටවල් මත ක්‍රියාත්මක වෙයි. අසූ ගනන්වල අගභාගයේදී සෝවියට් දේශයේ බිඳවැටීමත් සමඟම අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ තනි නියමුවා බවට පත්වීමට ඇමෙරිකාවට හැකිවිය. අන් ඕනෑම දෙයකට මෙන්ම ත්‍රස්තවාදයටද තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම සඳහා යම් න්‍යායක් අවශ්‍ය වේ. කොටි ත්‍රස්තවාදය මෙහිදී දඩමීමා කරගෙන ඇත්තේ දෙමළ ජනතාවට අහිමී ඇතැයි කියන ඊනියා අයිතිවාසිකම් කිහිපයකි. සාමාන්‍ය ත්‍රස්තවාදයක් එවැනි සරල හේතු දැක්වීමකින් සාධාරනීකරණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් ම නොවේ. ත්‍රස්තවාදයට තම කටයුතු කිසිදු හේතුවකින් තොරව නිර්ලජ්ජිතව කරගෙන යාමට වුවද හැකිය. නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය තරමක් ශීලාචාර වන අතර ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. කොටි ත්‍රස්තවාදීන් ගම්වලට පැන අහිංසක ජනතාව කැතිගා දැමුවද, අසූ ගනන්වල රාජ්‍ය ත්‍රස්තවාදය තම ක්‍රියාකාරකම් නාඳුනන තුවක්කුකාරයාගේ ගිනුමට බැරකිරීමට තරම් කෛරාටික විය. ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙහිදී රාජ්‍ය ත්‍රස්තවාදයටත් වඩා අතිශය සියුම් උපක්‍රම භාවිතා කරයි. ඉරාකයට සමූල භාතක අවි චෝදනාව පටවා ආක්‍රමණය කර අවසානයේ දිනකට සිය ගනනින් සිදුවන අපරාධ වල වගකීම ඉරාක ජනතාව ‍මතම පටවනුයේ ඒවා මුස්ලිම් කල්ලි අතර ගැටුම් ලෙස අර්ථ දක්වමිනි.අධිරාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමේදී යම් යම් පියවරයන් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ප්‍රථමයෙන් තම අධිරාජ්‍යයේ කොටස්කරුවන් හෝ සේවකයන් නොවන රටවල් හඳුනාගනී. දෙවනුව, කුමන හෝ ගැටළුවක් එම රට තුල නිර්‍මාණය කිරීමට අධාර හා අනුබල දෙයි. එසේ නොකල හැකිවුවහොත් කිසිදු හේතුවක් නොමැතිව සම්භාදක පනවා පරාජය බාරගනී. කියුබාව මීට හොඳ නිදසුනකි. නමුත් ලංකාව තුල අදාල ගැටළුව නිර්‍මාණය කිරීමට අධිරාජ්‍ය ත්‍රස්තවාදය සමත්විය. එසේ යම් ගැටළුවක් නිර්‍මාණය කලහැකි වුවහොත් තෙවනුව, එයට මැදහත්කරුවන් හෝ උපදේශකයන් ලෙස පැමිණ තම අරමුණ ඉටුකරගැනීමට යොමුවෙයි. මෙය සුඩානයේදී සාර්ථක වුවද ලංකාවේදී අසාර්ථක වූයේ ජාතික බලවේගයන් තමා ඉදිරිපිට තිබූ අභියෝගය නිසි පරිදි තේරුම් ගැනීමට සමත් වීම නිසාය. මෙබඳු අසාර්ථකවීමක් හමුවේ අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ ඊළඟ පියවර වනුයේ එක්සත් ජාතීන් වශයෙන් හඳුන්වන අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ බලල් අත මඟින් තම ත්‍රස්තවාදී අරමුණ කරා ළඟාවීමයි. මේ සඳහා යම්කිසි අකාරයේ හේතු දැක්වීමක් අවශ්‍යය ය. එනිසා අද අධිරාජ්‍ය ත්‍රස්තවාදයට ලංකාව ගොදුරුකරගැනීම සඳහා සාක්ෂි අවශ්‍ය වී තිබේ. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීම තුල ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙල තීරණය වේ. ඉරාකයට කාලයක සිට ඇස ගසාගෙන සිටියත් ගල්ෆ් යුද්ධය වැනි තීරණාත්මක සාක්ෂියක් එනතුරු ඔවුහු සාක්ෂි ගොනුකරගෙන සිටියහ. ඇෆ්ගනිස්ථානය සඳහා තීරණාත්මක සාක්ෂිය වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයයි. යමිකිසි ආකාරයකින් සාධාරණීකරණක කලහැකි බොරු සාක්ෂියක් සොයාගත හැකිනම් අධිරාජ්‍ය ත්‍රස්තවාදය ඉතාමත් දරුණු ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට ඇ‍ෆ්ගනිස්ථානය හොඳම නිදසුනකි. නමුත් එවන් තීරණාත්මක සාක්ෂියක් ලංකාවෙන් සොයාගත නොහැකි නිසා එබඳු මැදිහත්වීමක් කිරීමට අවකාශයක් නැත. එනිසා යම් යම් සුළු සාක්ෂි කීපයක් මත එක්සත් ජාතීන් හරහා අධිරාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම නවතම සැලසුමයි. මෙම ආකාරයට අධිරාජ්‍යවාදයේ ගොදුරු බවට පත්වූ රටවකට හොඳම උදාහරණය නම් නැගෙනහිර ටිමෝරයයි. එම සැලසුමේ කොටසක් ලෙස ඔවුන් තමන්ගේ රූකඩ ලවා රජයට මානව හිම්කම් චෝදනා එල්ල කිරීම දැනටම අරඹා ඇත.අද විජාතික බලවේගවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයයි. මෙය මවාපෑමක් බව සියලු ජනතාව දන්නා නිසා සිරස ඇතුලු විජාතික ජනමාධ්‍ය වල අතුරුදහන්වීම් පිළිබඳ ප්‍රචාරයන් මහජනතාවට කන්දොස්කිරියාවක් විනා කිසිසේත්ම ප්‍රවෘත්ති නම් නොවේ. ජනතාව එම ප්‍රවෘත්ති නරඹා, අනේ අවාසනාවට ඇත්ත කතාවක් නේද කියා චැනලය මාරු කරති. නමුත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය දිගින් දිගටම අතුරුදහන්වීම් ගැන හුඹස් බියක් ජනතාවට ඇතිකිරීමට වලිකති. මෙහිදී මෙම ජනමාධ්‍යවල කාර්‍යභාරය වනුයේ ලංකාවේ ජනතාව‍ට ප්‍රවෘත්ති සැපයීමට නොව කොන්ත්‍රාත් ක්‍රමයට විජාතිකයින්ට සාක්ෂි සැපයීමයි. රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇත්නම් එය දැනිය යුත්තේ ජනතාවටයි. අද ජනතාවට දැනෙන රාජ්‍ය ත්‍රස්තවාදයක් නැත. නමුත් ත්‍රස්තවාදීන්ට නම් බොහෝදේ දැනෙමින් පවතින බව පෙනේ. අසූව දශකයේ අගභාගයේ දිනවල හයට කලින් රෑට කා නාඳුනන තුවක්කුකාරයාට බියේ නොනිදා රැය පහන්කල අයුරු ජනතාවට තාම මතක තිබේ. පාසල් යනවිට පාරේ දැවෙන මල සිරුරු දෙස නොබලන ලෙස දෙමාපියන් ඉතා තදින් අවවාද කලසැටි මගේ මතකයේ හොඳින් සටහන් වී තිබේ. පසුගිය වසර තුල සිදුවූ සිද්ධීන්ගෙන් සමන්විත සිරසේ දිනපතා පෙන්වන මිනී පෙරහැරේ සඳහන් ගානට වඩා වැඩි ගනනක් එකවර හන්දිවල පුලුස්සා දමා තිබූ යුගයක් තිබී බව ජනතාවට මතක තිබේ. එදා උගුරට එනකම් මිනී කෑ මස් වැද්දෝ අද මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගත්විට, කැලෑවකින් මල සිරුරක් සොයාගත්විට උගුර ලේ රහ වනතුරු කෑ ගසති. ඉහත මාතෘකාව ගැන තමා කරන සෑම වචනයක් වචනයක් පාසාම ලංකාවේ ජනතාවට දැනෙන්නේ ලේ ගඳ බව සමහර නායකතුමන්ලාට නොතේරේයැයි සිතිය නොහැක. නමුත් බටහිර හාම්පුතුන් නූල් අදින විට අතපය පමනක් නොව දිව ආදියද නටන නිසා ඔහුටද කරකියාගතහැකි දෙයක් නොමැත.රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුල සටනේ වාසිය තිබූයේ අධිරාජ්‍ය ත්‍රස්තවාදයටයි. එම අවදියේ සාම ගිවිසුම් ගැසීම‍ටත්, නිරීක්ෂකයන් මෙරට රැඳවීමටත් ඔවුනට හැකිවිය. අද සියල්ල අහෝසි වී සටනේ වාසිය අපට අත්වී තිබේ. නමුත් සටන දිනා ඇති බවට කිසිවෙකු උපකල්පනය කලහොත් එය අපි අපවම රවටාගැනීමකි. සටනේ වාසිය අද රැඳී ඇත්තේ තීරණාත්මකව සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට සමත්වීම තුලයි. ඔවුන් අපමත බලෙන් පටවන්නට හදන මතවාදය එසේ ලෙහෙසියෙන් සිල්ලර ලෙස ප්‍රතික්ෂේප කල හැක්කක් නොවේ. මෙහිදී වඩා වැදගත් වනුයේ අනතුර වටහාගැනීමත් එය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත්, ඉන්පසු ජනතාවගේ සහාය ඇතුව චෝදනා දැඩිලෙස ප්‍රතික්ෂේප කිරීමත් විනා දෙපැත්ත ෂේප් කරමින් කල්මැරීම නොවේ.

No comments: